Virtual Reality සහ Augmented Reality කියන්නේ එකක් නෙවෙයි දෙකක්!

2
1011
views

අද වෙන විට Virtual Reality (VR) සහ Augmented Reality (AR) කියන්නේ තාක්ෂණය අතින් සුවිශාල පෙරළියක් කරපු concepts දෙකක්. ලෝකය පුරාම විවිධ ක්ෂේත්‍ර වල ක්‍රියාකාරිත්වය දියුණු කරගන්න සහ වැඩ කටයුතු පහසු කරගන්න VR සහ AR තාක්ෂණයන් විශාල බලපෑමක් එල්ල කරලා තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ තාක්‍ෂණයන් දෙකම බැලූ බැල්මට එක සමානයි කියලා. ගොඩාක් දෙනෙක් VR සහ AR පටලවාගන්න එකත් සුලබයි. නමුත් මේ තාක්ෂණයන් දෙක ගැන හරියටම විස්තර හොයලා බැලුවොත් තේරේවි VR සහ AR අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා කියලා. ඉතින් මේ සූදානම, Virtual Reality සහ Augmented Reality කියන දෙක ගැන හරියටම දැණුමක් නැති අයට, එහෙමත් නැත්නම් AR සහ VR පටලවාගෙන ඉන්න අයට, Virtual Reality සහ Augmented Reality කියන්නේ එකක් නෙවෙයි දෙකක් කියලා පැහැදිලි කරලා දෙන්නයි.

මුලින්ම අපි බලමු Virtual Reality කියන්නේ මොකද්ද කියලා…

සරලවම කිව්වොත් virtual reality කියන්නේ computing platform එකක්! කෘතීම වටපිටාවක් සැබෑ වටපිටාවක් ලෙසට අපේ මොළයට ඒත්තු ගන්වන්නට පුළුවන් තාක්ෂණයක් විදියටත් අපිට මෙය හඳුන්වන්න පුළුවන්. මේ හරහා එම කෘතීම වටපිටාව තුළ කෙනෙක් සිදු කරන ක්‍රියාකාරකමක්, ඔහු එය ඊට සමාන සැබෑ වටපිටාවක් තුළ සිදු කරන ආකාරයට දනවන්නට තරම් හැකියාවක් තියෙනවා. බොහෝ අවස්ථාවලදී මේ කෘතිම පරිසරය නිර්මාණය කෙරෙනුයේ displays 3ක් හෝ 4ක් භාවිතා කරමිනුයි. ඉතින් මේ displays වලින් නිර්මිත වටපිටාව සැබෑ වටපිටාවක් ලෙස මොළයට සංවේදනය කිරීමට විශේෂ sensors වර්ග සහිත ඉලෙක්ට්‍රොනික devices යොදා ගනු ලබනවා. screen එකක් සහිත විශේෂිත හෙල්මෙට් වර්ග, sensors සහිත විවිධ මෙවලම් මෙලෙස භාවිතා කරන ඉලෙක්ට්‍රොනික devices විදියට හඳුන්වන්න පුලුවන්. Virtual Reality ගැන වැඩිදුර කරුණු දැනගන්න කැමති නම් මේ link එකෙන් ඒ ගැන ලියවුණු ලිපිය කියවලා බලන්නත් ඔබට පුලුවන්.

Augmented Reality, VR වලින් වෙනස් වෙන්නේ කොහොමද?

VR වලින් කලින් පැහැදිලි කර ආකාරයට අපිට වෙනස්ම පරිසර තත්වයක සැබවින්ම ඒ මොහොතේ සිටිනවා වැනි හැඟීමක් සහ ඊට අනුරූප අත්දැකීම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. AR වලදී සිදු වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. එහිදී සිදු වෙන්නේ අපි අවට තියෙන යම්කිසි භෞතික පරසරයකට අපේ අවශ්‍යතාවයට අනුව තවත් යම්කිසි දෙයක් එකතු කර පෙන්වීමක් වගේ දෙයක්! අපි අවට තියෙන බිත්තියක්, නැත්නම් කඩදාසියක්දී වගේ දෙයක් භෞතික පරිසරය විදියට සළකමු. එතකොට මේ බිත්තිය, නැත්නම් කඩදාසිය දෙසට AR enabled screen එකක් වගේ device එකක් focus කළාම ඒ පරිසරය මත අපිට අවශ්‍ය රූප රාමු නිර්මාණය වී පෙනීමක් මෙහිදී සිදු වෙන්න පුලුවන්. ඉතින් ඔබට පැහැදිලි ඇති AR වලදී, VR වලදී වගේ අපේ දර්ශන පථය සම්පුර්ණයෙන්ම වෙනත් තලයකට ගෙන යාමක් සිදු වෙන්නේ නැහැ. මේ නිසාවෙන්ම Augmented Reality හා සම්බන්ධ devices, Virtual Reality හා සම්බන්ධ devices තරම් සංකිර්ණත් නැහැ.

VR සහ AR අතර වෙනස පැහැදිලි කරගන්න අපි සරල උදාහරණයක් ගමු…

හිතන්නකෝ ඔබට සාගරයක ජිවත් වෙන මුහුදු ජිවින්ගේ චර්යාවන් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි කියලා. ඔබත් සැබවින්ම සාගරයේ සිටිනවා වැනි අත්දැකීමක් මොළයට දනවමින් එම සාගර ජීවින් නිරීක්ෂණය Virtual Reality හරහා සිදු කරගන්න පුලුවන්. Augmented Reality හරහා මේ වගේ නිරීක්ෂණයක් කරන්න අවශ්‍ය නම් එම ජිවින්ගේ චර්යාවන් බොහෝ විට ඔබ අවට ඇති බිත්තියක් නැත්නම් කඩදාසියක් වගේ දෙයක් මත දැකගන්න පුලුවන්. ඉතින් ඔන්න ඔය වගේ වෙනසක් තමයි මේ VR සහ AR තාක්ෂණයන් අතර තියෙන්නේ!

අද වෙන විට ලෝකයේ අධ්‍යාපනික, සෞඛ්‍ය, ව්‍යාපාරික, ආරක්ෂක, ප්‍රවාහන, පර්යේෂණ, නිෂ්පාදන ආදී මෙකී නොකී බොහෝ ක්ෂේත්‍ර වල VR සහ AR කියන තාක්‍ෂණයන් ඉතාමත් දියුණු මට්ටමකින් භාවිතා වෙනවා. Virtual Reality අද ලෝකයේ භාවිත වෙන ආකාරය ගැන මේ video එකෙනුත් Augmented Reality වල භාවිතාවයන් පිලිබඳ යම් අදහසක් මේ video එකෙනුත් ඔබට ලබාගන්නට හැකියාව ලැබේවි.

මේ තාක්‍ෂණයන් අපේ මොළයත් සමගින් ගණුදෙනු කරන ආකාරය සැබවින්ම හරිම අපුරුයි. ඔබ ඒ පිළබඳ දැනගන්නට කැමතියි නම් ඒ ගැන හොයලා බලන්නත් අමතක කරන්න එපා.

Virtual Reality සහ Augmented Reality කියන මේ අනාගතයට නැතිවම බැරි තාක්ෂණයන් වලින් ඇත්තටම සිදු වෙන්නේ මොකද්ද කියලා යම් අපැහැදිලිතාවයක් තිබුනානම් ඒ පිලිබඳව යම් පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට මේ විස්තරය උදව්වක් වෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

2 COMMENTS

Leave a Reply to Imesh Gunasekara Cancel reply

Please enter your comment!
Please enter your name here